HIRU TV

වැලිවේරිය, රූකාන්ත, චන්ද්‍රලේඛා සහ තවත් කතා

       වැලිවේරිය, රූකාන්ත, චන්ද්‍රලේඛා සහ තවත් කතා
hirunewsමාධ්‍ය තුල තිබූ සිරස්තලයක්- "වැලිවේරිය පුදුමාතලන් වූ හැටි!" මෙය ජීවිත කාලයක් තුළ අප අත්විඳින්නට බලාපොරොත්තු නොවූවකි. අප බලාපොරොත්තු වූයේ අපේ ඇස් පියවෙන්නට පෙර "ශ්‍රී ලංකාව සංවර්ධිත රටවල් අතරට එක්වේ", "ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පූරුවද ඉක්මවයි", "සියලු ජාතීන් එක්ව කටයුතු කරන සුන්දර රටක්" වැනි සිරස්තලය. නමුත් වාසනාව මෙන්ම අවාසනාව ද රජකරන කල්පයකට අප ඇතුලත්ව තිබේ. අපි වරක් සුනාමියෙන් පසු ලංකාව හැදෙයි කියා සිතුවෙමු, එයින් යමක් සිදුනොවූ තැන අප 2009 යුධ ජයග්‍රහණයෙන් පසු ලංකාව හැදෙයි කියා සිතුවෙමු. නමුත් ඒ සියල්ල විසිරී බොඳව යන බව පෙනෙන්නට ඇත. Rookantha Chandralekha

රූකාන්ත, චන්ද්‍රලේඛා සහ වැලිවේරියසම්බන්ධ වන්නේ කෙසේද? රූකාන්ත සහ චන්ද්‍රලේඛාට නීතිමය බැඳිමකින් සම්බන්ධයක් ඇතත් පෙනෙන ආකාරයට වැලිවේරියට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය ඔවුන් ජීවත්වන රටේ එක්තරා ප්‍රදේශයක් වීම හෝ ඇතැම්විට වැලිවේරියේ ප්‍රසංගවලට ඔවුන් සහභාගීවීම විය හැක. නමුත් ගැඹුරින් සිතා බැලූ කල්හි, එතනට එහා ගිය යමක් දක්නට පුළුවන්ය.

වැලිවේරියේ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා උපවාස උද්ඝෝෂණ කළ අතර හමුදාව යොදා ඔවුන් ඉවත් කිරීම සිදුකරන විට එය ගැටුමක් දක්වා දුරදිග ගිය අතර හමුදාවෙන් පොලු හා වෙඩි පහරවල් ද ජනතාවගෙන් ගල් මුල් බෝතල් පහරවල් ද එල්ල වෙද්දී එයට මැදිහත්වූ ජනතාව මාධ්‍යවේදීන් මෙන්ම හමුදාවේදී අය ද තුවාල වන්නට ඇත. හමුදාව ප්‍රශ්නයට මැදිහත් වූයේ තනියම හිතා නොවන බව පොඩි එවුන් පවා දනී. නමුත් හමුදාව එසේ පැමිණ සිවිල් ගැටළුවක් ගැටුමක් දක්වා දුරදිග යවා අවසානයේ එයට මැදිහත්වුනු පාසල් දරුවන් මියයාමට තුවක්කු හැරවීම ඛේදවාචකයකි. ජනතාවට විරෝධතා දැක්වීමේ අයිතිය ඇත. ඔවුන් මහජන සාමයට බාධා කරනවානම් එයට කටයුතු කලයුතු විදියක් ඇත. කෙසේ හෝ හමුදාව මහජනයා දෙසට තුවක්කුව හැරවූයේ ඉහලින් ලැබුණු අණින්ය.

රූකාන්ත හා චන්ද්‍රලේඛා මෙම සිදුවීමට සම්බන්ධවන්නේ මෙසේය. පසුගිය චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ එජාපයට වැඩකල රූකාන්ත යුවලට හිරිහැර කිරීමට අදාලව ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන්ට දඬුවම් ලැබුණේ ගිය සතියේය. එදා ඔවුන් රූකාන්තලාට අඩම්තේට්ටම් කරන්නට ඇත්තේත් තනියම හිතලා නොව ඉහලින් ලැබුණ අණටය. නමුත් අද ඉහළින් අණදුන් ඇත්තන් තනතුරුවල හෝ ලංකාවේ නැති වෙන්නට පුළුවන්ය. එම නිසා අවසානයේ දඬුවම ලැබුණේ අණ පිළිපැද නිලලත් චණ්ඩි වන්නට ගිය ආරක්ෂක අංශයේ සෙබළුන්ය. වැලිවේරිය හා රූකාන්තලා දැඩිලෙස සම්බන්ධ වන්නේ මෙතනදීය.



එසේනම් අද අවි අතට ගෙන සිවිල් ගැටළුවලදී නිලලත් චණ්ඩීන් ලෙස හැසිරෙන ආරක්ෂක හමුදාව දත යුත්තේ,දඬුවම් විඳින්නට සිදුවන්නේ අණ ක්‍රියාත්මක කළවුන්ට මිස අණ දෙන්නවුන්ට නොවන වගය. එබැවින් ඉහල අණ ඉක්මවා කටයුතු කිරීමේදී වර්තමානයේ ලැබී ඇති උදාහරණ සිතාබලා කටයුතු කිරීම වඩාත් වටී. එසේම වැලිවේරියේ දී පොලු පහරවල් වදිනවිට මිනිස්සු දෑත් ඉහලට ඔසවා කල ප්‍රකාශ කීපයක් අප පහතින් ඉදිරිපත් කරමු.
rathupaswala2


"අනේ පුතේ... උඹලා ඇයි අපිට ගහන්නේ.. මේ අත් වලින් තමයි උඹලා කොටියගෙන් බේරන්න කියලා බෝධි පූජා තිබ්බේ පොල් ගැහුවේ.. "

"අනේ මල්ලියේ... තව ගහපල්ලා උඹලා අපිට... මේ මගේ ලේ යකෝ... මේ ලේම තමයි උඹලා වෙනුවෙන් මම විසි සැරයක් දන් දුන්නේ.. තව ගහපන් ලේ යන්න"

"උඹලා අපිට වෙඩි තියලා මදි යකෝ... කොටියා වෙඩි තියලා මලානම් අපිට දුකක් නෑ යකෝ.. ඒත් අපිට වෙඩි තියන්නේ අපේම එවුන්..."

"අපි රටක් රාජ්ජයක් ඉල්ලුවේ නෑ යක්කුනේ... අපි ඉල්ලුවේ වතුර... වතුර විතරයි... ඒ නොමැරී ඉන්න..."

ratuDSC 0042


ලේ වැගිරී ඇත.එය ඛේදවාචකයකි. ඉතිරි කොටස බාර ජනතාවට ය.

 
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
(බූන්දි වෙබ් අඩවියෙනි)

No comments:

Post a Comment